Sunday, November 21, 2010

ආකෘති ගුවන්යානා - හැඳින්වීම 2



කලින් ලිපියට කාගෙන්වත් කොමෙන්ටුවක් නොලැබුනු නිසා හා වැඩිය කට්ටිය නොකියවපු නිසා මේ ගැන උනන්දුවක් නෑ වගේ මට පේන විදියට. අනෙක් අතට කලින් ලිපිය කියවපු සමහර අය හිතනවා ඇති ඒ ලියලා තිබුනු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනෙද? ඒවා ඕනෙම  කෙනෙකුට තේරෙනවා නේ කියලා. ඒ ලිපිය කියවපු මගේ යාළුවෙක් ලිව්වේ මම කියලා දන්නේ නැතුව කිව්වේ "කව්ද පිස්සෙක් ලියපු එකක්" ලියලා කියලා :D. මේ ලිපිය කලින් එකේ 2වන කොටස. කියවලා මේ ගැන ඔයගොල්ලන්ගේ අදහස් පුළුවන් නම් ලියලා යන්න.

පියාසර කල හැකි ආකෘති පහත ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්.
  •  නිදහස් පියාසැරි  (බලගැන්වූ හා නොගැන්වූ) (Powered and Non-powered Free flight)
  • දුරස්ථ පාලක (Remote controlled) 
  • පාලක රැහැන් ආකෘති (Control line)
නිදහස් පියාසැරි වර්ගයේ ගුවන් යානා කිසිම පාලනයකින් තොරව නිදහසේ පියාසර කරනු ලබන ඒවායි. මේවායේ බලගන්වන ලද හා නොගන්වන ලද වර්ග දැකගන්න පුළුවන්, බල ගන්වන ලද ඒවා බැටරි බල හෝ රබර් පටි බල විය හැකියි. වයින් ස්ප්‍රීතු එන්ජින් මේව්යේ දක්නට ලැබෙන්නේ නෑ බර වැඩි නිසාවෙන්. පියාසර කිරීමට ප්‍රථම මේවායේ යම් යම් සැකසීම් කරනු ලබනවා. ඒ කරන්නේ කිසියම් නිශ්චිත පරාසයක (flying range) හා නිශ්චිත ගුවන් මගක් (flight path) ගැනීමටයි.

පාලක රැහැන් වර්ගය පාලනය කරනු ලබන්නේ යවන්නාගේ සිට ගුවන් යානාවට ඇති රැහැනකින්. ගුවන් යානය විදුලි මෝටරයකින් බලගන්වලා තියනවානං, විදුලි බලය සැපයීමේ හා, මෝටරයේ වේගය පාලනය කීරීම මේ රැහැන හරහා කරන්න පුළුවන්. ඊට අමතරව ගුවන්යානයේ පියාසර උස අඩු වැඩි කරීමත් (pitch) කල හැකියි.

පළවෙනි හා දෙවෙනි රූප වලින් දැක්වෙන්නේ නිදහසි පියාසැරි වර්ගයේ ආකෘති ගුවන් යානා. තුන්වෙනි රූපයෙන් දැක්වෙන්නේ පාලක රැහැන් වර්ගයේ ආකෘතියක්.

මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ දුරස්ථ පාලක වර්ගයේ ආකෘති වර්ගය. මේ ආකෘති සෙල්ලම් හා විනෝදාංශ වශයෙන් ශේණිගත කරන්න පුළුවන් (Toy grade and Hobby grade models). සෙල්ලම් භාණඩ යටතේ ශේණිගත කරන ලද ගුවන්යානා විනෝදාංශ ශ්‍රේණියට වඩා මිලෙන් වගේම තත්වයෙනුත් අඩුයි. මේවායේ දුරස්ථ පාලක බොහෝ වේලාවට චැනල් 3කට සීමා වෙනවා. ඒවගේම මේ වර්ගයේ ආකෘති, කුඩා ඉඩ ප්‍රමාණයක, (ගෘහස්ථ බැඩ්මින්ටන් පිටියක වගේ) පියාසර කරන්න පුළුවන් විදියට හදලා තියෙන නිසා ප්‍රමාණයෙන් හා බරෙන් අඩුයි. බොහෝ වේලාවට මේවා අසුරණයෙන් එලියට ගත් විගස පියාසර කළ හැකියි. (Ready to fly). හදලා තියෙන්නේ බොහොම බර අඩු ප්ලාස්ටික් වර්ගයකින් හෝ රෙජිෆෝම් වර්ගයකින්. ලංකාවේ සෙල්ලම් බඩු කඩවල ගන්න තියෙන ඒවා අනිවාර්යයෙන්ම මේ වර්ගයේ.

විනෝදාංශ ශ්‍රේණියට අයත්වන ආකෘති සාමාන්‍යයෙන් මිලෙන් ටිකක් වැඩියි. ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 8000/= කට වැඩියි. ඒ වගේම මේවායේ දුරස්ථ පාලක සමග හෝ දුරස්ථ පාලක රහිතව ගන්න පුළුවන්. දුරස්ථ පාලක ගැන වෙනම ලිපියක ලියන්නම්. මේවා හදලා තියෙන්නේ රෙජිෆෝම්, ෆයිබර් ග්ලාස්, හෝ බල්සා (කදුරු වැනි ලී වර්ගයකි) ලී වලින්. චැනල් ගණන 2 හෝ ඊට වැඩියි. 

ඊලඟ ලිපියෙන් අහස් යානා පියාසර කරන්නේ කොහොමද කියන එක ගැන කියන්නයි බලාපොරොත්තුව. වෙන දැනගන්න දෙයක් තියෙනවනං කොමෙන්ටුවකින් අහන්න.

 පින්තූර වල අයිතිය උපුටා ගත් වෙබ් අඩවි සතුයි.  

 වැඩි විස්තර සඳහා. http://www.rc-airplane-world.com/model-flying.html  බලන්න

එහෙනං ආයිබෝං..







Wednesday, November 17, 2010

ආකෘති ගුවන්යානා - හැදින්වීම 1

ඊයේ කිව්වානේ විශේෂ දෙයක් ගැන ලියන්න ඉන්නේ කියලා. ඔන්න ඉතිං හා හා පුරා කියලා ලියන්ඩයි ලෑස්ති වෙන්නේ ආකෘති ගුවන් යානා ගැන ලිපි පෙළක්. ආකෘති ගුවන් යානා සෑදීම, නිර්මාණය කිරීම, හා පියාසර කිරීම, විනෝදාංශයක් විදියට විදේශ රටවල ප්‍රසිද්ධ වුනත්, ලංකාවේ තිබුනු ආරක්ෂක තත්ව මත මේක විනෝදාංශයක් විදියට කල අය අතලොස්සක් පමණයි හිටියේ. නමුත් දැන් මේ සම්භන්ධ නීති ලිහිල් කරලා තියෙන්නේ.ආකෘති ගුවන් යානා ගැන කියනකොට මේ සම්භන්ධව උනන්දුව තියෙන ගොඩක් අය ඉන්න බව නං රහසක් නෙමෙයි, ඒ වගේම විනෝදාංශයක් විදියට කරන්න කැමති අයත් ගොඩක් ඉන්නවා . මේ අය බහුතරයකටම තියෙන ප්‍රශ්ණේ තමයි මූලික දැනුම ලබාගන්නේ කොහොමද කියන එක. මේ ලිපි පෙළෙන් මම බලාපොරොත්තු වෙන්නේ මූලික දැනුම ලබාදීම සහ දැනුම බෙදා ගැනීම. එහෙම කිව්වට මමත් මේ සම්භන්ධව විශේෂඥයෙක් නම් නොවෙයි, මම දන්න ටික බෙදාගන්නයි මේ සූදානම.හරි එහෙනම් අපි මුලින්ම බලමු ආකෘති ගුවන් යානාවක් කියන්නේ මොකක්ද කියලා.

ආකෘති ගුවන් යානාවක් යනු කුමක්ද?

ආකෘති ගුවන් යානා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 
  • පියාසර කළ හැකි ආකෘති
  • පියාසර කළ නොහැකි ප්‍රදර්ශණ වර්ගයේ ආකෘති
පියාසර කළ හැකි ආකෘතී සැබෑ ගුවන් යානාවල අනුරූ හෝ පරිමාණයට සෑදූ ඒවා විය හැකියි. නමුත් බොහෝවිට මේ වර්ගයේ ගුවන් යානා තැනීමේ අරමුණ පියාසර කරවීම නිසා සැබැ ගුවන් යානා වකම අනුරුවක් මෙන් පෙනීමට සියුම් විස්තර(details) කරනවා අඩුයි. මෙයට හේතුව ගුවන් යානයේ බර පියාසර බර නොඉක්මවීමට වගබලා ගත යුතු නිසා සහ පියාසර කිරීමේ හැකියාව (flying characteristics) සැළකිල්ලට ගත යුතු නිසායි.  පියාසර කළ නොහැකි ප්‍රදර්ශණ වර්ගයේ ආකෘති වල නම් සියුම් විස්තර දැක්වීම තමයි ප්‍රධානම අරමුණ. මේවා බොහෝ විට සෑබෑ ගුවන්යානා වල මිමි පරිමාණයට කුඩා කර තනන ලද ඒවායි. මගේ උනන්දුව සහ දැනුම් තියෙන්නේ පියාසර කරල වර්ගයේ ආකෘති සම්භන්ධයෙන් නිසා දෙවෙනි වර්ගය ගැන මින් එහාට ලියන්නේ නෑ. මම මීළඟ ලිපියෙන් පියාසර කළ හැකි වර්ගයේ ගුවන් යානා වර්ගීකරණය ගැන ලියන්නං. එතකං ආයිබෝං...

ප.ලි. - මගේ සිංහල ලිවීම නං අන්තිමයි. ඒනිසා වැරදි වලට සමාව ඉල්ලනවා.

පින්තූර වල අයිතිය උපුටා ගත් වෙබ් අඩවි සතුයි.









Tuesday, November 16, 2010

ඔන්න මමත් පටන් ගත්තා


ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගයක් කාලෙකට කලින් පටන් ගත්තත් ලියන්න දේවල් නැති නිසා තාම තියෙන්නේ ලිපි කිහිපයක් විතරයි. කාලෙක ඉදන් සිංහල බ්ලොග් කියවන නිසා එකක් පටන් ගන්න හිතුවත් ලියන්නේ මොනවද කියලා හිතලා ඒ අදහස අත්හැරියා. කොහොම උනත් අද බ්ලොග් බල බල ඉද්දී හදිස්සියෙම ලියන්න පුළුවන් විශයයක් මතක් වෙච්ච නිසා ඕන්න මමත් පටන් ගත්තා සිංහල බ්ලොග් අඩවියක්. ඉස්සරහට ලියන්න යන්නේ මොනවද කියලා මම දැන්ම කියන්නේ නෑ. ඒක ඉස්සරහට කියවලාම දැනගන්ට පුළුවන් වෙයි. එහෙනං අදට මෙච්චරයි. ආයිබෝං....